සිංහල හා දමිළ ගැමි නැටුම් තුළනාත්මකව අධ්‍යයනය.



 සිංහල හා දමිළ ගැමි නැටුම් වල සංස්කෘතික පසුබිම.

බහු ආගමික, බහු සංස්කෘතික ලක්ෂණ වලින් යුතු රටක් ලෙස අප රටේ ආගම්, සංස්කෘතික, අපූර්වත්වයක් ගොඩනැගී ඇත. එහි දී විවිධ ජන කණ්ඩායම් වාසය කරන අතර ඔවුන්ගේ අනන්‍යතාවයන් නිරූපණය වන ජන සංස්කෘතිකාංගයන් රාශියක් ද දක්නට ලැබේ. ඒ අතර ගැමි නැටුම් නැතහොත් ජන නැටුම් සුවිශේෂි වේ. සිංහල හා දමිළ සංස්කෘතීන් නිරූපණය කරන ගැමි නැටුම් වල සමාන ලක්ෂණ මෙන්ම ඒ ඒ නර්තනයන් සඳහා අනන්‍යතා ලක්ෂණ ද දක්නට ලැබේ.

පොදුවේ ගත් කළ ගැමි නැටුම් තුළින්,

  1.     එකී රටේ ජනතාවගේ භාෂාව
  2.     ආගම
  3.     සිරිත් විරිත්
  4.     ඇඳුම් පැළඳුම්
  5.     ජීවන වෘත්තීන්
  6.     කෙළි සෙල්ලම් ආදී ලක්ෂණ නිරූපණය වේ.

රටක පවතින බහුවිධ සංස්කෘතික අනන්‍යතාවයන් නිරූපණය කරනු ලබන සුවිශේෂි අංගයක් ලෙස ගැමි නැටුම් දැක්විය හැකි වේ. බහුවිධ සංස්කෘතින්ගේ එකතුවකින් නිර්මාණය වී ඇති අප රට තුළ විවිධ ජන කණ්ඩායම් වලට ආවේණික වූ සිරිත් විරිත් සේම ගැමි නැටුම් ද දක්නට ලැබේ. විශේෂයෙන්ම සිංහල ජනයා සහ දමිළ ජනයාගේ සංස්කෘතින් එකිනෙක වෙනස් වූ අංග ලක්ෂණ වලින් නිර්මාණය වී ඇති අතර ඒ ඒ ජන වර්ගයන්ට උරුම වූ ජන නැටුම් අප රටේ සංස්කෘතියට විවිධත්වයක් මෙන්ම අලංකාරයක් එක් කරනු ලබයි.

    බෞද්ධ සහ හින්දු ජන සංස්කෘතියේ ඇති මෙම වෙනස්කම් හඳුනාගැනීමට හැකි ප්‍රමුඛ අංගයක් ලෙස ගැමි නැටුම් දැක්විය හැකිය. මෙම ජන වර්ගයන්ට අදාළ ගැමි නැටුම් වල ඇති සමාන අසමානතා, සහ සුවිශේෂි ලක්ෂණ තුළනාත්මකව අධ්‍යයනය කිරීම තුළින් මෙම හඳුනාගැනීම මනාව සිදු කළ හැකි වේ.

    ලාංකේය දමිළ ජනයාගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ලක්ෂණ බහුලව පෙන්නුම් කරන්නකි. ඔවුන්ගේ ජන නැටුම් තුළ ද මෙම ලක්ෂණය දක්නට ලැබේ. සිංහල ගැමි නැටුම් හා දෙමළ ගැමි නැටුම් අතර යම් යම් සමානතා ලක්ෂණ ද දක්නට ලැබේ.

සිංහල හා දමිළ ගැමි නැටුම් කිහිපයක් පහත ලෙස දැක්විය හැකිවේ.

සිංහල ගැමි නැටුම්  

  1. කළ ගෙඩි
  2. ලී කෙළි
  3. ලී මල්ලිය
  4. ගොයම් නැටුම
  5. කුළු නැටුම    

 

ද්‍රවිඩ ගැමි නැටුම්

  1. සෙම්බු
  2. කෝලාට්ටම්
  3. පින්නල් කෝලාට්ටම්
  4. අරවි චෙම්බු
  5. සුලකු
  6. කාවඩි
  7. කුම්මි

 

    කළගෙඩි හා සෙම්බු නැටුම්

කළගෙඩි නර්තනය


සෙම්බු නර්තනය

    සිංහල කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ කාර්යයක් වූ දිය ගෙන ඒම ඇසුරු කරගෙන කළගෙඩි නර්තනය නිර්මාණය වී තිබේ. කාන්තාවන් නැතහොත් තරුණ ලියන් සමූහයක් වශයෙන් හෝ තනි තනිව නිවසට අවශ්‍ය ජලය ගෙන ඒම හා බැඳි විවිධ චලන හා අවස්ථා කළගෙඩි නර්තනයේ දී අලංකාරව නිරූපණය කර තිබේ. මේ සඳහා සරල ගායනා හා වාදන යොදා ගනු ලබයි.

    කළගෙඩි නැටුමෙන් පිළිඹිබු වන්නේ කාන්තාවන්ගේ ලාලිත්‍යයයි. කළය උකුලෙහි තබාගෙන යාම, කළගෙඩි වලට ජලය පුරවා ගැනීම, කළ රැගෙන නැටීම වැනි අවස්ථාවන් කළගෙඩි නර්තනයෙන් නිරූපණය වේ.

    සිංහල සංස්කෘතියේ දී කළගෙඩි නර්තනය මෙන්ම දමිළ සංස්කෘතියේ දී සෙම්බු නැටුමෙන් නිරූපණය කරනු ලබන්නේ සමාන අවස්ථාවකි. එනම් දමිළ කාන්තාවන් ජලය රැගෙන යාමේ කාර්යය නිරූපණය වන අයුරින් සෙම්බු නැටුම නිර්මාණය වී තිබේ.

සිංහල කාන්තාවන් උකුලේ තබාගෙන දිය ගෙන ඒම සිදු කළත් දමිළ කාන්තාවන් දිය ගෙන එන්නේ හිස මත තබා ගෙනය. එම ලක්ෂණය නිරූපණය වන පරිදි සෙම්බු නර්තනය නිර්මාණය වී තිබේ. සෙම්බු අතින් ගන්නා කාන්තාවෝ ඒවා අතින් අතට ගෙන මාරු කරමින් උඩ දමා ඇල්ලීම, විවිධ හැඩ මතුවන පරිදි අතේ තබා ගෙන නැටීම ආදී චලනයන් සංගීත රිද්මයට අනුව ඉදිරිපත් කරයි. සෙම්බු නර්තනයේ දී කාන්තාවන්ගේ ලාලිත්‍යය මතුවන ලාස්‍ය ලක්ෂණ වලින් යුතුව නර්තනය නිර්මාණය කර තිබේ.


ලී කෙලි හා කෝලාට්ටම්

ලී කෙලි නර්තනය

කෝලාට්ටම් නර්තනය


ලී කෙළි නර්තනය හා කෝලාට්ටම් නර්තනය ද සිංහල හා ද්‍රවිඩ සංස්කෘතින් දෙක තුළ දක්නට ඇති ගැමි නැටුමකි. මෙම අංග දෙකම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සහභාගි විය හැකි සරල අලංකාරවත් නර්තනාංගයන් ලෙස දැක්විය හැකිය.

ලී කෙළි නර්තනයේ දී කිතුල්, කරඳ වැනි ලී දෙකක් අඩියක් පමණ දිගට එක සමානව සකස් කර ගෙන භාවිතා කරනු ලබයි. යුගල වශයෙන් නර්තනයේ යෙදීම මෙන්ම විවිධ රටා මවමින් සාමුහිකව නර්තනයේ යෙදීම මෙහිදී සිදු වේ. මෙය හුදෙක්ම විනෝදාස්වාදය අරමුණු කර ගනිමින් ඉදිරිපත් කරනු ලබන නර්තනාංගයකි.

කෝලාට්ටම් නර්තනයේ දී යොදා ගනු ලබන ලී දෙක ලී කෙළි වලදී යොදා ගන්නා ඒවාට වඩා මදක් දිගින් වැඩි වන පරිදි සහ මහතින් අඩු වන පරිදි සකස් කර ගනු ලබයි.

කෝලාට්ටම් දෙවියන් සඳහා පූජෝපහාරයක් ලෙස කෝවිල් වලදී මෙන්ම විනෝදාස්වාදය පිණිස ද කරනු ලබයි. සරල වාදනයක් සමඟ ගායනයන් මෙහි දී භාවිතා කරනු ලබන අතර යුගල වශයෙන් නර්තනයේ යෙදීම සිදු වේ.

ලී මල්ලිය

පින්නල් කෝලාට්ටම්


ලී වල්ලිය සහ පින්නල් කෝලාට්ටම් ද්‍රවිඩ සහ සිංහල සංස්කෘතියේ ඇති අලංකාරවත් ගැමි නැටුම් වේ. මෙහිදී රංග භූමියෙහි හෝ වේදිකාවෙහි මධ්‍යයේ තබා ඇති කණුවකට සම්බන්ධ කොට ඇති ලණු හෝ රෙදි දඟර රැගෙන විවිධ රටාවන් මවමින් සාමුහික නර්තනයක යෙදේ. මෙය තරමක සංකීර්ණ බවක් පෙන්නුම් කළද මනා පුහුණුවක් සහ කණ්ඩායම අතර මනා සාමුහිකත්වයක් ගොඩ නැගීම තුළින් එය නිවරැදිව ඉදිරිපත් කළ හැකි වේ.

 

ඉහත තොරතුරු වලට අනුව සිංහල හා ද්‍රවිඩ ගැමි නැටුම් අතර සමානතා සහ ඒවාටම වෙන්වූ අනන්‍යතා ලක්ෂණ දක්නට ලැබෙන බව පැහැදිලි වේ. එය කරුණු වශයෙන් පහත පරිදි දැක්විය හැකිය.

 

 

      1. රංග වස්ත්‍රාභරණ වල සුවිශේෂතා
      2. ගායනයෙහි හා වාදනයෙහි ඇති සුවිශේෂතා ලක්ෂණ
      3. විනෝදාස්වාදය අරමුණු කර ගනිමින් රචනා වී තිබීම
      4. චලන වල සුවිශේෂතා
      5. භාවිතා කරන භාණ්ඩ වල සුවිශේෂතා

 සැකසුම - දිනේෂ් ජයසිංහ.

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න
ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

1 Comments

Post a Comment

Previous Post Next Post